ShareThis

2014-07-23

_________ජීවිත_____________

_________ජීවිත_____________
-----------------------------------------



වෙලාව නම් හවස 3ට විතර ඇති..
කොළඹ ගාලුමුවදොර පිටියේ (ගෝල්ෆේස් කියන්නේ එතන තමා).
අපි එතනට ආවේ ටිකක් විවේකයෙන් ඉන්න. එදා සරුංගල් සැණකෙලියක්.
පාට පාට සරුංගල මට මගේ පුංචි කාලේ මතක් කලා.
එක එක මෝස්තර වලට එක පාටින් එක එක ප්‍රමාණ වලින් ලොකු පොඩි භේදයක් නෑ. වැඩිහිටියොත් ලමයිත් තරගෙට සරුංගල් යවනව. ඒ අතරේ පැත්තක් වටේට ලණු දාලා වෙන් කරලා. හිතෙන විදියට කවුරුහරි ලොක්කෙක් එන පාටයි.
බස් හෝල්ට් එක ගාව පොල් ගහක් යට වාඩි වෙලා හිටපු අපි දැක්කා විශේෂ පුද්ගලයෙක්, කොල්ලෙක්.
වයස නම් පෙනුමේ හැටියට අවුරුදු 28ක් විතර ඇති. අම්ම එක්ක ඇවිල්ල හිටියේ. ටික වෙලාවක් මම නිරීක්ෂණය කලාම තේරුම් ගියේ සෙමින් මනස වැඩෙන ලමයෙක් කියල.
අපි බලාන හිටිය මේ ලමය දිහා.
පුංචි සරුංගලයක් හදාගෙන ඒක උඩ යවන්න අම්ම එක්ක ඇවිත්. කොහොමහරි මේ ලමයත් සරුංගලේ උඩ යවා ගත්තා. පුදුම සතුටකින් වටපිට බලනව ආයේ ඉස්සරහට එනවා. ටිකක් වෙලා නිරීක්ෂණය කලාම තමා තේරුම් ගියේ මේ ලමයට ඕනි අනිත් සේරම සරුංගල් වලට ඉස්සරහින් තමන්ගේ සරුංගලේ තියාගන්න.. අන්තිමේ පොල් ගහක සරුංගලේ රැදුන. එක පාරක් ඇදල කොහොමහරි බේරගත්තා. තව පාරක් මමත් සරුංගලේ අරන් දුන්න.. අන්තිමට බැරිම තැන වැඩේ අතෑරල දැම්ම ලමය අම්ම ගාවට ගියා. හිතාගන්න බෑ ඒ අම්ම කොහොම දරාගන්නවද කියල. පුතාව වාඩි කරල අම්ම ගිහින් අයිස්ක්‍රීම් දෙකක් අරන් ආවා. හරි ආසාවෙන් අවුරුදු 10ක විතර ලමයෙක් වගේ අයිස්ක්‍රීම් කද්දි මම කල්පනා කලේ කොහොම දුකක්ද මේ අම්මට ඇත්තේ කියල.
සමහරවිට එකම පුතා වෙන්න පුළුවන්.
ඔය අතරේ අව්ව ටිකක් අඩු කලාම අපි ගියේ මුහුදු දිහාවට. ලස්සන ලස්සන සරුංගල් මැද්දෙන්, බිම තියාගෙන සෙල්ලම් බඩු විකුණන වෙලෙන්දන් අතරින් අපි නැවතුණේ නානා කියල ලියල තිබුණු එක කඩයක් අසල. එතන එක පේලියට කඩ. ඒවයේ මිනිස්සුන්ගේ ජීවිතත් හරි අමුතුයි. ඒ අයට වෙලදාම් තියෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමා. ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා. අපි එතනට යද්දි ඒ අය සූදානම් වෙනව. ඒකත් හරි අපූරුයි.
මේ මිනිස්සුන්ට ජාති භේද නෑ. නානා ලයිට් ගන්නේ එහා පැත්තේ සිංහල කඩේට ප්ලග් එක ගහල. එක්කෙනෙක් ලයිට් හයි කරනව රෑට එන මිනිස්සුන්ට කළුවරේ කන්න බෑනේ. කොහෙන්දෝ ගෙනාපු ප්ලාස්ටික් මේස වලට කකුල් හයි කරල ලයිට් දාලා ඒ මනුස්සයා යන්න ගියා. ඔය අතරේ හදිස්සියේ ආපු ත්‍රීරෝද රථයක් මොකද්ද උස්සගෙන කඩයක් කඩයක් ගානේ ගිහින් බිමට දාලා යනව. හොදට විපරම් කරල බලද්දි ලොකු අයිස් කුට්ටියක්. එක කඩේක ඉන්නේ ජෝඩුවක්. නෝනනයි මහත්තයි එකතු වෙලා අයිස් කඩනවා. බීම ගන්න එන මිනිස්සු කූල් නැතුව බොන්නෙ නෑනේ. මේ මහන්සි වෙන්නේ ඒකට. මේ හැම දෙයක්ම කරන්නේ ජීීවත් වෙන්නනේ. සමහරවිට පොඩි දරුවොත් අරගෙන පවුල පිටින්ම තමයි මේ අය එන්නේ.
මට ලස්සනට ලියන්න අමාරුයි තමයි. මේ ජීවිත මට ඇත්තටම අමුතුයි. ඒත් සරලයි.
මිනිස්සු විනෝද වෙන්න එනවා. ඒ අයට පහසුකම් සලසලා මේ අය ජීවත් වෙනවා. අපි රස්සාවෙන් ජීවිතේ විදින්නෙ නෑ. මේ අය රස්සාවෙන් ජීවිතේ විදිනවා. හරිම සතුටින්. සමහරවිට අපිටත් වඩා සතුටින් වෙන්න පුළුවන්..
මේ මුහුදේ ලුණු හිරිකඩටම දිය වෙන ජීවිත අතරින් වෙරළ ගාව ටිකක් වාඩි වෙලා කතා කර කර හිටපු අපි දෙන්නා නාන් රෝටියකුත් කාලා තව නානාගේ කඩෙන් කොත්තුවකුත් කාලා ආපහු පිටත් උනා.
ජීවිතේ හරිම සුන්දරයි. සරලයි. සංකීර්ණ කරගෙන තියෙන්නේ අපිමයි. ඇයි අපි මෙච්චර සංකීර්ණ කියල මම තාම හිතනවා.
‪#‎ආගම‬ ‪#‎සංස්කෘතිය‬ ‪#‎සදාචාරය‬ ‪#‎නම්බුව‬
මේ හැම දේම පණ රැකගන්නකල් විතරයි. පණ තියෙනකල් විතරයි. සමහරු ජීවත් වෙන්න කනවා. තව සමහරු කන්න ජීවත් වෙනවා. අපි හැමෝම මිනිස්සු. ඒත් ඇති නැති බෙදීම් හැම තැනම. ජීවිතේ හරිම සුන්දරයි.
ජීවත් වෙන ටික කාලේ සතුටින් ඉන්න තියෙනව නම් සෑහෙන්න වටිනවා.
===== සන්තුට්ඨි පරමං ධනං =====


෴ සිතුවිලි පලස ෴