ShareThis

2013-05-19


ගතු නොකියමි බමරිඳුනි....

සඳ ඇති රැයෙක
පිපුණු
කඩුපුල් මලක
රොන් රස විඳින
බමරෙක්මි...

පෙති කඩා හල මල
හඬද්දි දුකින්
විඳි රස රැගෙන
ඉගිලුනා සැණෙන
ඉසිඹුවක් ලදින්
වෙන මලක් වෙතට...

කඩුපුලේ රැඳුනු
රොන් වලින් මත්ව
ඒ මලේ පෙතිද
කඩා හල විටක
හැඬුවෙ නැහැ එමල
නෙතේ රැඳි කඳුල
සැඟවුවා විගස..

2013-05-18

අම්මා....


සිතල කඳුළු මුතු පිණි සිසිලක් දැනුනා
රන් ලේ පොදක් කිරි පාටට හැරුනා
දරු සෙනෙහසක් හිස මුදුනෙම රජ කෙරුනා
අම්මා නමින් මම අද විවරණ ලැබුවා

දස මස කුස දරන් මම නුඹ ලොකෙට පිදුවා
රතු ලේ බිඳක් කිරි කර නුඹටම පෙව්වා
ඇකයේ හොවාගෙන නුඹ මහතෙකු කෙරුවා
අම්මා නමින් නුඹටම දිවි කැප කෙරුවා

සිතල වෙලාගෙන නුඹ ඇවිදින් මනස පුරා
කඳුලැලි උනයි මම පෙව් කිරි ගුණ හින්දා
පුතු එන මඟට මගේ කඳුලැලි බර වෙනදා
නිහඩව පිටව යන්නම් පුතුනේ නුඹ දුර හින්දා


෴කඩුපුල෴


ගැබ්බර කොටි දෙන කඳවුර අසල මරාදමන ලදි


හසකැන් තිලක තල් අත්තේ තියූ ලියා
සඳකැන් අරන් රෑ අහසට පැමිණි ලියා
බිඳකුත් දුකක් නැත මායිම ලිහූ ලියා
සඳකුත් මකා හැම තරුඑළි නිවූ ලියා

කල්ලඩි පැනං පෙති ගෝමර ලිහා දමා
මුල්ලඩි මකා වැලි පාවඩ ලිහා දමා
තල්අඩි ගැසූ ගැට නව දැලි දුරක දමා
කල්ලඩි පැනං සිංහල ගැබ කුසේ දමා

තල්ලත්තේ පැළලි අතර රටා වියා
රස්සාවට යුද්ධ කරන කොළඹ එයා
සින්නක්කර ගත දුන් කළු දෙමළ ප්‍රියා
උස්සන බඩ උඩ නැංගේ නැතිද එයා

ගත පමණකී සිත නැති සඳ කිඳුරාණ
සැතපුණු නිවන්නට සරතැස ඉඳුරාණ
කුස දරු හොවන බව දැනගෙන සොඳුරාණ
තිව් වෙඩි වලට පැළුනිද කුස දෙදරාණ

ඈ කොටි දෙනකි ගැබ් ගත් පසු ඉඳුරාම
මරණය උරුම රමණය කල පව හාම
අවියක් නිමිත්තක් කල පිරිමින් මේම
දුටුමන දැවෙයි උළලේනින් හද තාම.....

|CHAMINDA PRADEEP SILVA GUNARATHNE

ඈ අම්මාය.

ආකාසය ස්වේත මල් හලද්දී
ඒ සුවඳ නේරංජනාවේ දියකර
ලොවක් සුගන්ධවත් කල අම්මාය ඈ..

දස මාර සේනා සල් පිල් වලින්
උණු බත්ම ඇඟ අලවා
රහසේම කුසගින්න උහුලා
කුස පිරූ ඈ අම්මාය ඈ..

උත්පලවන්නාද,කිසා ගෝතමියද
පටාචාරාද,විශාකාවද
අම්බපාලිය නොවූ ඈ අම්මාය...

සෝපාක ,මහ ධන සිටු කරන්නට
ඇස් ඉස් මස් ලේ ඇට නහර
අන්දුන්නාය ඈ කිසිවක් නොඅසාම
කිසිවක් නොබලාම...

ඇන්දාය නොඇන්දාය
වින්ඳාය නොවින්දාය
කෑවාය නොකෑවාය
අන්ඳවා වින්දනය කොට කවාලූ
ඈ අම්මාය..

දහසක් යොදුන් ඇවිද
වියැලුණු ඟඟක්ව
මහ වැසි වසින්නටම ආකහට
දිය බිඳෙන් බිඳ වඩන
ඈ අම්මාය...

කුසිනාරාවද,බුද්ධගයාවද,ලුම්බිණියද
මහා බෝ මූලයද,

නේරංජනාවද,අචිරවතියද,සරඹුවද
මහීද ඈය..

ඈ අම්මාය.......

|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

ගුරුතුමීට කවි දෙකක් !!


01. දුෂ්කර පළාතේ සේවයට අපේ අලුත් ගුරුතූමීට !

ඕලු මල් පිපුණ සාරියෙන් 
හැඩවෙලා
හිඳුණු වැව ළඟ වැඩහිඳින්නී.

ඩහදිය විලවුන්
තවරගෙන
දුහුවිලි කොකුම් උළාගෙන
බොරළු පාර දිගේ
ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිත්
මන්දපෝෂිත ඉස්කෝලයට
ගොඩ වැදෙන්නී.

වද කොස් ගහ යට පන්තියේ
මැලේරියා උණ හැදුන අපට
හැන්දෙන් හැන්ද අකුරු පොවන්නී.
ලෝක සිතියමේ
කටුකම්බි වැටෙන් මායිම් වුණ
මේ ඉඩෝර බිමට ඉහළින්
කළුලෑල්ලේ
වැහි වලාකුළක් අඳින්නී.
කම්කටළු කටු පඳුරු මත
සිරි පතුල් තබාගෙන
දෑත් තාලම්පොටින්
අමතක නොවන තාලය තබන්නී.
අලුත් කවියක් වෙලා
පරඬැල් පෙළපොතේ හිනැහෙන්නී.

විවේක කාලයේ දී
ගුරු පුටුවේ වාඩිවෙයි.
දිගු නියෙන්
රොටී ගෙඩියේ මලකඩ ගලවගෙන
මුතු දෙපොලින්
හිමිහිමින් හපයි.

මේ අමාවකේ
පුන්සඳක් වී අහස පුරා පායන්ට
අප හැවොම වඩාගෙන නුඹ
අලියා නොයන මග දිගේ ම
ඉහළට නගියි.

ගුරුතුමී
ඔය අලුත් සාරි පොටේ සෙවණැල්ල
ඉස්කෝල වත්තේ බිම පුරා ම
හැමදා ම එලී තියෙයි.
ඔන්න කටුකම්බි මල් වැලෙත්
සතුටක් පිපීගෙන එයි !




02. දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට !


බොර ඇළෙන්
යටිපතුල් දොවා ගත්තා
වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ
කන්ද උඩින් එබී
පෘථිවිය දිහා බැලුවා.
හැමදාම
අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා


කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්


අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත්රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්
ඉස්කෝලෙ කිරි ගහේ
පාත අත්තක
ගමට පනා මලක් පිපුණා
සමනළුන් කෝටියක්
ඉගිළුණා නුඹෙ සිතේ
ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්
අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී
ඇයි මහා වැස්සක්
ඔය ඇහේ අද
මේ බලන්ට
අපි ඔක්කෝම
දහයෙන් එකොළහට පාස් වුණා මිස්
කොයි සල්පිළෙන් නෙළා ගත්තාද
මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්
ගැලවිලා බිම වැටුණා තමයි.
කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත
අනේ අපට පෙන්නන්ට මිස්
ඒදණ්ඩෙන් එගොඩ වෙලා
දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට
අතින් මේ කවිය
තනියට ගෙනියන්ට මිස්.

වෙදමහත්තයා මැරුණා !




සමහරු කිව්වේ පත අට එකට හිඳ හිඳ අමුර්තය හද හද හිටියදී මොකක්දෝ විෂ වෙලා මැරුණා කියලයි.
හෙණරාජ තයිලය පුපුරලා තමයි මැරිලා හිටියේ කියලා කටකතාවකුත් හොරෙන් හොරෙන් ඉගිළුණා.
සමහරු කිව්වේ බෙහෙත් හොයන්ට කැලේට ගිහිං උණකට්ටක් ඇනිලා වැඩේ වුණා කියලා.
තවත් සමහරු කිව්වේ ළිඳෙන් බෙහෙත් වතුර නනා සිංහයා වගේ වීර කේසර හොලව හොලවා සිටිද්දී ඇස්වහ කටවහ වැදිලා එතනම නැතිවුණා කියලා තමයි.
තවත් කට්ටියක් කිව්වා යකා ගහලා කියලා. තවත් කට්ටියක් කිව්වා මැතිරිල්ලක් වැරදිලා බූත බලවේගයක් නිසා ඇස් පිහාගත්තා කියලා.
තවත් කට්ටියක් කිව්වා රට ජාතිය එපා වෙලා උන්හිටිගමං මැරිලා වැටුණා කියලත්.
කට්ටියක් මොකුත් හිතාගන්ට බැරිව හිටියා, කටවල් ඇරගෙන.

කොහොම වුණත් වෙදමහත්තයා මැරුණා. නැතිවුණා.

වෙදගෙදර, වෙදමහත්තයා වගේම පරණ සාලය මැද, වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගෙන නිදි.
ඒ අත්දෙකන් තමයි කාටවත් හොඳ කරනවා තියා හිතන්ටවත් බැරි වුණ ඖෂධහාමිගේ බගන්ධරාබාධය එක ඇසිල්ලෙන් හොඳ කළේ, කජු කන්නා වගේ.
ඒ අත් දෙකෙන් තමයි කහඹිලියා ගෑවුණා වගේ දඟලපු, කැරකුණු, සක්කරවට්ටන්, සරුන්ගල් එතනාගේ බඩවැල් ඇඹරිලා හැදුණු අන්තර්ගන්ඨි ආබාධය නිට්ටාවට හොඳ කළේ.
ඒ අත්දෙකෙන් තමයි රන්බණ්ඩෙගේ පපුව පතුලේ හැංගිලා තිබුණ විරහා උල ඇරං දැම්මේ.
ඒ අත්දෙකෙන් තමයි ඉපදෙන්නෙ නැතිව මාස හැටහතරක් බඩේ හිටිය පුන්චා එළියට ඇරං මිනිහෙක් කළේ.
ඒ අත්දෙකෙන් තමයි ලොකුහාමුදුරුවෝ නිවන් දකිනකම්ම උන්නාන්සේට යෙහෙන් සංසාරය ගෙවාගන්න බෙහෙත් කළේ. මහෝෂධ හැරමිටියක් වුණේ.
වෙදමහත්යාගේ ඒ අත්දෙකට බැරිවුණා කවදාවත් පහළ කඩේ මුදලාලිගේ පපුවේ හිරවෙලා තිබුණ ලෝභකමේ මළකඩ යකඩ සුරය ඇරං දාන්ට. (ගම්මු කිව්වේ එහෙමයි)
ඒ වුණාට ඒ අත්දෙකට කරන්න බැරි වුණ දේවල් තවත් තියෙනවා…………..


ගමේම කට්ටිය එකතුවෙලා මරණාධාර සමිතියේ හට් එක ගෙනල්ලා වෙදගෙදර පරණ බිත්තිවලට හේත්තු කරලා ගැහැව්වා. කළුවර ආවා. තරු මිනී පහන් දැල්ලුවා. පුන් සඳ හරි රවුම් මල්වඩමක් අහසට ගෙනාවා. අමුත්තෝ ආවා ගියා. තේ හැදුවා, බෙදුවා. මළ බත් ගෙනාවා. ‘අනේ හෆෝයි’ කිව්වා. ‘සංසාරේ……..!’ කිව්වා. මහපොළොව කම්පා වුණා. ගස්ගල් දෙදරුවා. ජේමිසාලා පිළිකන්න පැත්තේ බූරුවා ගහන්ට පටන් ගත්තා.

ටිකවෙලාවකින් හතේ හත වැදිලා ජේමිසා වයිරයේ පිහිය ඇරං පබිලිසාට අනින්ට පැන්නා, පොරකුකුළා වගේ තටු ගහගෙන. රා කළ විස්සක් තිහක් බීලා හිටපු පබිලිසාත් කුලප්පුවෙලා පලිගැනීමේ කිනිස්සෙන් ජේමිසා සුන්නද්දූලී කරන්ට පැන්නා, දූලි මතුකරගෙන, දූලි කාගෙන. වාතය කලතාගෙන. වම්නේ දාගෙන. ඔක්කොම සමගිවෙලා දෙන්නා දෙපැත්තට වෙන්කරන්ට හැදුවා. තල්ලු කළා. කරෙන් ඇද්දා. බෙල්ලෙන් ඇද්දා. මොන……… කීයටවත් දෙන්නා හිතුව විදිහට දෙපැත්තට කරන්ට බැරිවුණා……….. ලෝක යුද්ධය වගේ ගොහොරිය පැතිරුණා. උඩහාගමට ගියා. පල්ලයාගමට ගියා. තරුණයෝ අතට ගියා. මහල්ලන් අතරට ගියා…වායුගෝලයට ගියා. ජල ගෝලයට ගියා. ශිලාගෝලයට ගියා…….. කාලගෝට්ටිය කීයටවත් ඉවසන්ට බැරිම තැන උන්හිටිගමන් වෙදමහත්තයා දෙණෙන් නැගිට්ටා. නැගිටලා සිංහයා වගේ පැන්නා ගොහොරිය මැදට. “බොල, අහකට වෙයව්” . … වෙදමහත්තයා ඇන්නා ජේමිසාගේ මූණටම. පබිලිසා යටිබඩ අල්ලාගෙන ඇදවැටුණා. මීක් කියලා සද්දයක් නැති වුණා. ලෝක යුද්ධය නැතිවුණා. සකල ලෝකධාතුවම නැවතුණා. “මැරිලාවත් නිදහසේ ඉන්ට නෑ” වෙදමහත්තයා ගොරවලා වටේටම බලලා ආයෙත් නිදාගන්න ගියා දෙණ ඇතුළට.

වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගත්තා.


වෙදමහත්තයාගේ දුව ගියා මෙඩිකල් ෆැකල්ටියට. ඊට පස්සේ නිර්වාණය හොයාගෙන පිටරට ගියා, ලෙක්චරයෙක් එක්ක. උගේ කරේ එල්ලිලා. ගියා ගියාමයි ආවේ නෑ. වෙදමහත්තයා  ප්ලෑන්කළේ කවදාහරි දුව ළඟ අවසන් හුස්ම හෙලන්ට.

වෙදමහත්තයාගේ පොඩි පුතා අගනගරෙට ගියා. ‘සදහම්’ කියන හෝටලය පටන් ගත්තා. තරු තුනක් එල්ල ගත්තා. ඊට පස්සේ තව වෙනකන් මිනිහට හුස්මක් ගන්ට බැරි වුණා, වැඩ. වැඩ. වැඩ. පින්කම්. වෙදමහත්තයා කවදාහරි සාස්තරේ දෙන්ට හිටියේ මිනිහට. මිනිහගේ ඇඟේ තිබුණා ඒ සාස්තරේ පිහිටන මංගල ලකුණු. (කොහෙද වෙදමහත්තයා ඊට කලින් ඇස් පිහාගත්තනේ)

ලොකුපුතා හොරා……….. ඇන්ටික් බඩු ගන්න සුද්දෙකුට වෙදමහත්තයාගේ පුස්කොළපොත් ඔක්කොම විකිණුවා. විකුණලා ආල කැක්කුමට බෙහෙත් හොයාගෙන ගියා රට ගෑනු හොයාගෙන, මඩම් බෙහෙත් ශාලාවලට. අන්තිමේදී රටබෝතලයක් ගිලිලා වීදුරු දිරවන්නේ නැතිව මිනිහා මළා මරලතෝනි දීගෙන, මහපොළොව බදාගෙන, කෙළ හලාගෙන.

වෙදහාමිනේ මේවා වෙදගෙදර බුදුකූඩුව ළඟ බිත්තියේ රාමුවෙලා වසර විස්සක් තිහක් බලාගෙන හිටියා එකදිගට. වෙදමහත්තයා හිතුවේ වෙදහාමිනේ දවසට කිහිප වතාවක්ම වෙදමහත්තයාට බණිනවා ඇති කියලයි. ‘දරුවන් හදාගන්ට බැරි වුණ වෙදා…..’ එහෙම ඇහෙන්ට පටන් ගත්තා වෙදමහත්තයාගේම කන්වලට, පස්සෙ පස්සෙ දවස්ට දෙතුන් විඩ.

කර්ම ලෙඩේට බෙහෙත් දන්නෙ නැති නිසා වෙදහාමිනේ කලින්ම මළා තමයි. වෙදමහත්තයා පටාචාරා ගැන හිතලා හිත හදාගත්තා. ‘ඔහොම තමයි භයානක සංසාරේ’

අලුත් ඩිස්පෙන්සරිය, වෙදගෙදරට හැරෙන් බ්‍රහ්ම මාවත ළඟ ඉදිවුණා. ඩොලර් වගේ රවුමට ඊට උඩින් හඳ පෑයුවා. වෙදමහත්තයා නාකි වුණා. අන්තිමේට වෙදමහත්තයා මැරුණා. ඔහොම තමයි භයානක සංසාරේ ! ඉපදෙනවා. මැරෙනවා.

වෙදගෙදර වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගෙන නිදි. හැබැහින් වාගේම නිදි. හම රැලි ගැහිලා. ටිකක් කුද වෙලා. අත් වෙවුලනවා. මහලුකමේ ලෙඩේ හැදිලා. ඔව්, වෙදමහත්ත්යා දෙණ ඇතුළේ හොඳටම නිදි.


ගමේම කට්ටිය එකතුවෙලා මරණාධාර සමිතියේ අනික් හට් එකත් ගෙනල්ලා වෙදගෙදර පිළිකන්න පැත්තේ බිත්තිවලට හේත්තු කරලා ගැහැව්වා. කළුවර ගල්වුණා. තරු මිනී පහන් දැල්ලුවා. සමහර තරුවල පහන්තිර ගිනිගත්තා. පුන් සඳ හරි රවුම් මල්වඩම බිම අතෑරියා. හඳෙහි තෙල් කටාරමේ තෙල් ගොජදැම්මා. ජේමිසාලා පිළිකන්න පැත්තේ බූරුවා ගහන්ට පටන් ගත්තා. පබිලිසා ඔට්ටු ඇල්ලන්ට පටන් ගත්තා. ඊට කලින් බූරුපොළේ ඔක්කොම එකතුවෙලා ආයේ වෙදමහත්තයාට ඇහැරෙන්ට බැරි විදිහට පෙට්ටිය වහලා සීල් කළා. ඒ වටේට ‘වයධම්මා සංකාරා’ බැනර් එක කීප පාරක් එතුවා.



වියරුව නැගෙන රළ පෙල
මොනතරම් සොඳුරුද...?
ගිනි ගෙන නැගෙන දහවල
කොයිතරම් එළියද.....?

චණ්ඩයක් සේ හමන
සුළඟ කෙතරම් චමත්කාරද...?
මේඝයක් සේ වහින
වැස්ස කෙතරම් සොඳුරුද

එක් පසෙකින් යොමා නෙත් 
බලනවිට
සියල්ල සොඳුරුමුත්
අනෙක් විට
ඒ සියල්ලම කටුකය..ගොරහැඩිය.

බකමූණා වීදි බසී......


රාජිත.. රාජිත.. රාජිත.. රාජිතයෝ.............

"බකමූණා වීදි බසී"
පෙන්නමුද
අපි
මහරගම හන්දියෙයි
කිරිබත්ගොඩ හන්දියෙයි
මුලින්ම
රටටම පබ්ලිසිටිය දීල.
.
.
.
හැබැයි දවල්ට
.
දැන්
ලයිට් නෑ
පහනුත් නෑ
.
කණවැල අල්ලන
බකමූණා
පස්සෙ යන අය
අරගමු
සෙසු චරිත වලට
කට්ටිය ගොඩා.....යි
මොකද කියන්නෙ.

^සූ

සමනලිය..


2013-05-17

....කඳුළු මල් මාලා....

කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා

සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා

මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා