ShareThis

2013-05-18

වෙදමහත්තයා මැරුණා !




සමහරු කිව්වේ පත අට එකට හිඳ හිඳ අමුර්තය හද හද හිටියදී මොකක්දෝ විෂ වෙලා මැරුණා කියලයි.
හෙණරාජ තයිලය පුපුරලා තමයි මැරිලා හිටියේ කියලා කටකතාවකුත් හොරෙන් හොරෙන් ඉගිළුණා.
සමහරු කිව්වේ බෙහෙත් හොයන්ට කැලේට ගිහිං උණකට්ටක් ඇනිලා වැඩේ වුණා කියලා.
තවත් සමහරු කිව්වේ ළිඳෙන් බෙහෙත් වතුර නනා සිංහයා වගේ වීර කේසර හොලව හොලවා සිටිද්දී ඇස්වහ කටවහ වැදිලා එතනම නැතිවුණා කියලා තමයි.
තවත් කට්ටියක් කිව්වා යකා ගහලා කියලා. තවත් කට්ටියක් කිව්වා මැතිරිල්ලක් වැරදිලා බූත බලවේගයක් නිසා ඇස් පිහාගත්තා කියලා.
තවත් කට්ටියක් කිව්වා රට ජාතිය එපා වෙලා උන්හිටිගමං මැරිලා වැටුණා කියලත්.
කට්ටියක් මොකුත් හිතාගන්ට බැරිව හිටියා, කටවල් ඇරගෙන.

කොහොම වුණත් වෙදමහත්තයා මැරුණා. නැතිවුණා.

වෙදගෙදර, වෙදමහත්තයා වගේම පරණ සාලය මැද, වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගෙන නිදි.
ඒ අත්දෙකන් තමයි කාටවත් හොඳ කරනවා තියා හිතන්ටවත් බැරි වුණ ඖෂධහාමිගේ බගන්ධරාබාධය එක ඇසිල්ලෙන් හොඳ කළේ, කජු කන්නා වගේ.
ඒ අත් දෙකෙන් තමයි කහඹිලියා ගෑවුණා වගේ දඟලපු, කැරකුණු, සක්කරවට්ටන්, සරුන්ගල් එතනාගේ බඩවැල් ඇඹරිලා හැදුණු අන්තර්ගන්ඨි ආබාධය නිට්ටාවට හොඳ කළේ.
ඒ අත්දෙකෙන් තමයි රන්බණ්ඩෙගේ පපුව පතුලේ හැංගිලා තිබුණ විරහා උල ඇරං දැම්මේ.
ඒ අත්දෙකෙන් තමයි ඉපදෙන්නෙ නැතිව මාස හැටහතරක් බඩේ හිටිය පුන්චා එළියට ඇරං මිනිහෙක් කළේ.
ඒ අත්දෙකෙන් තමයි ලොකුහාමුදුරුවෝ නිවන් දකිනකම්ම උන්නාන්සේට යෙහෙන් සංසාරය ගෙවාගන්න බෙහෙත් කළේ. මහෝෂධ හැරමිටියක් වුණේ.
වෙදමහත්යාගේ ඒ අත්දෙකට බැරිවුණා කවදාවත් පහළ කඩේ මුදලාලිගේ පපුවේ හිරවෙලා තිබුණ ලෝභකමේ මළකඩ යකඩ සුරය ඇරං දාන්ට. (ගම්මු කිව්වේ එහෙමයි)
ඒ වුණාට ඒ අත්දෙකට කරන්න බැරි වුණ දේවල් තවත් තියෙනවා…………..


ගමේම කට්ටිය එකතුවෙලා මරණාධාර සමිතියේ හට් එක ගෙනල්ලා වෙදගෙදර පරණ බිත්තිවලට හේත්තු කරලා ගැහැව්වා. කළුවර ආවා. තරු මිනී පහන් දැල්ලුවා. පුන් සඳ හරි රවුම් මල්වඩමක් අහසට ගෙනාවා. අමුත්තෝ ආවා ගියා. තේ හැදුවා, බෙදුවා. මළ බත් ගෙනාවා. ‘අනේ හෆෝයි’ කිව්වා. ‘සංසාරේ……..!’ කිව්වා. මහපොළොව කම්පා වුණා. ගස්ගල් දෙදරුවා. ජේමිසාලා පිළිකන්න පැත්තේ බූරුවා ගහන්ට පටන් ගත්තා.

ටිකවෙලාවකින් හතේ හත වැදිලා ජේමිසා වයිරයේ පිහිය ඇරං පබිලිසාට අනින්ට පැන්නා, පොරකුකුළා වගේ තටු ගහගෙන. රා කළ විස්සක් තිහක් බීලා හිටපු පබිලිසාත් කුලප්පුවෙලා පලිගැනීමේ කිනිස්සෙන් ජේමිසා සුන්නද්දූලී කරන්ට පැන්නා, දූලි මතුකරගෙන, දූලි කාගෙන. වාතය කලතාගෙන. වම්නේ දාගෙන. ඔක්කොම සමගිවෙලා දෙන්නා දෙපැත්තට වෙන්කරන්ට හැදුවා. තල්ලු කළා. කරෙන් ඇද්දා. බෙල්ලෙන් ඇද්දා. මොන……… කීයටවත් දෙන්නා හිතුව විදිහට දෙපැත්තට කරන්ට බැරිවුණා……….. ලෝක යුද්ධය වගේ ගොහොරිය පැතිරුණා. උඩහාගමට ගියා. පල්ලයාගමට ගියා. තරුණයෝ අතට ගියා. මහල්ලන් අතරට ගියා…වායුගෝලයට ගියා. ජල ගෝලයට ගියා. ශිලාගෝලයට ගියා…….. කාලගෝට්ටිය කීයටවත් ඉවසන්ට බැරිම තැන උන්හිටිගමන් වෙදමහත්තයා දෙණෙන් නැගිට්ටා. නැගිටලා සිංහයා වගේ පැන්නා ගොහොරිය මැදට. “බොල, අහකට වෙයව්” . … වෙදමහත්තයා ඇන්නා ජේමිසාගේ මූණටම. පබිලිසා යටිබඩ අල්ලාගෙන ඇදවැටුණා. මීක් කියලා සද්දයක් නැති වුණා. ලෝක යුද්ධය නැතිවුණා. සකල ලෝකධාතුවම නැවතුණා. “මැරිලාවත් නිදහසේ ඉන්ට නෑ” වෙදමහත්තයා ගොරවලා වටේටම බලලා ආයෙත් නිදාගන්න ගියා දෙණ ඇතුළට.

වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගත්තා.


වෙදමහත්තයාගේ දුව ගියා මෙඩිකල් ෆැකල්ටියට. ඊට පස්සේ නිර්වාණය හොයාගෙන පිටරට ගියා, ලෙක්චරයෙක් එක්ක. උගේ කරේ එල්ලිලා. ගියා ගියාමයි ආවේ නෑ. වෙදමහත්තයා  ප්ලෑන්කළේ කවදාහරි දුව ළඟ අවසන් හුස්ම හෙලන්ට.

වෙදමහත්තයාගේ පොඩි පුතා අගනගරෙට ගියා. ‘සදහම්’ කියන හෝටලය පටන් ගත්තා. තරු තුනක් එල්ල ගත්තා. ඊට පස්සේ තව වෙනකන් මිනිහට හුස්මක් ගන්ට බැරි වුණා, වැඩ. වැඩ. වැඩ. පින්කම්. වෙදමහත්තයා කවදාහරි සාස්තරේ දෙන්ට හිටියේ මිනිහට. මිනිහගේ ඇඟේ තිබුණා ඒ සාස්තරේ පිහිටන මංගල ලකුණු. (කොහෙද වෙදමහත්තයා ඊට කලින් ඇස් පිහාගත්තනේ)

ලොකුපුතා හොරා……….. ඇන්ටික් බඩු ගන්න සුද්දෙකුට වෙදමහත්තයාගේ පුස්කොළපොත් ඔක්කොම විකිණුවා. විකුණලා ආල කැක්කුමට බෙහෙත් හොයාගෙන ගියා රට ගෑනු හොයාගෙන, මඩම් බෙහෙත් ශාලාවලට. අන්තිමේදී රටබෝතලයක් ගිලිලා වීදුරු දිරවන්නේ නැතිව මිනිහා මළා මරලතෝනි දීගෙන, මහපොළොව බදාගෙන, කෙළ හලාගෙන.

වෙදහාමිනේ මේවා වෙදගෙදර බුදුකූඩුව ළඟ බිත්තියේ රාමුවෙලා වසර විස්සක් තිහක් බලාගෙන හිටියා එකදිගට. වෙදමහත්තයා හිතුවේ වෙදහාමිනේ දවසට කිහිප වතාවක්ම වෙදමහත්තයාට බණිනවා ඇති කියලයි. ‘දරුවන් හදාගන්ට බැරි වුණ වෙදා…..’ එහෙම ඇහෙන්ට පටන් ගත්තා වෙදමහත්තයාගේම කන්වලට, පස්සෙ පස්සෙ දවස්ට දෙතුන් විඩ.

කර්ම ලෙඩේට බෙහෙත් දන්නෙ නැති නිසා වෙදහාමිනේ කලින්ම මළා තමයි. වෙදමහත්තයා පටාචාරා ගැන හිතලා හිත හදාගත්තා. ‘ඔහොම තමයි භයානක සංසාරේ’

අලුත් ඩිස්පෙන්සරිය, වෙදගෙදරට හැරෙන් බ්‍රහ්ම මාවත ළඟ ඉදිවුණා. ඩොලර් වගේ රවුමට ඊට උඩින් හඳ පෑයුවා. වෙදමහත්තයා නාකි වුණා. අන්තිමේට වෙදමහත්තයා මැරුණා. ඔහොම තමයි භයානක සංසාරේ ! ඉපදෙනවා. මැරෙනවා.

වෙදගෙදර වෙදමහත්තයා උඩබැල්ලෙන් අත්දෙකම බඩ උඩ තියාගෙන නිදි. හැබැහින් වාගේම නිදි. හම රැලි ගැහිලා. ටිකක් කුද වෙලා. අත් වෙවුලනවා. මහලුකමේ ලෙඩේ හැදිලා. ඔව්, වෙදමහත්ත්යා දෙණ ඇතුළේ හොඳටම නිදි.


ගමේම කට්ටිය එකතුවෙලා මරණාධාර සමිතියේ අනික් හට් එකත් ගෙනල්ලා වෙදගෙදර පිළිකන්න පැත්තේ බිත්තිවලට හේත්තු කරලා ගැහැව්වා. කළුවර ගල්වුණා. තරු මිනී පහන් දැල්ලුවා. සමහර තරුවල පහන්තිර ගිනිගත්තා. පුන් සඳ හරි රවුම් මල්වඩම බිම අතෑරියා. හඳෙහි තෙල් කටාරමේ තෙල් ගොජදැම්මා. ජේමිසාලා පිළිකන්න පැත්තේ බූරුවා ගහන්ට පටන් ගත්තා. පබිලිසා ඔට්ටු ඇල්ලන්ට පටන් ගත්තා. ඊට කලින් බූරුපොළේ ඔක්කොම එකතුවෙලා ආයේ වෙදමහත්තයාට ඇහැරෙන්ට බැරි විදිහට පෙට්ටිය වහලා සීල් කළා. ඒ වටේට ‘වයධම්මා සංකාරා’ බැනර් එක කීප පාරක් එතුවා.


0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.