ShareThis

2013-06-05

ඇගේ පහස ලබන්නෝ කවරහුද ..... ?

ඈ කළුය හීන්දෑරිය
කොණ්ඩය පොකු‍ටුය
කෙටිය, කිළු‍ටුය
ගිලුණු දෑසක් හිමිය
ප්‍රිය නූපදන හැකිළුණු
මුහුණකින්
අතරින්පතර හැළුණු
දත් සහිත මුවකට
හිමිකම් කියන්නීය.
වත්සුණු, සඳුන්
අඳුන්, විලවුන්
නොදන්නීය,
හවසට බාර් එකෙන්
ඇති පදම් බොන්නීය
මස්ද එලවළුද
හාල් තුනපහද
රෑට ගෙදර ගෙනෙන්නීය,
නැවත රාත්‍රියේදී,
මඟ නුගේගොඩ
අඳුරු මුල්ලක
‍රැක සිටින්නීය
නෙතඟ බැල්මෙන්
බලා ඇතමුන් සනසවන්නීය
ඇගේ තතු දනිතත්
ගම්මුන් අතර ඈ
සුවසේ වසන්නීය
සැලකුම් ලබන්නීය
ගැරහුම් නොලබන්නීය
ඈගේ රුව අපුල වුව
ඈ තවමත්
පුරුදු ‍රැකියාවෙන්
රකින්නීය
‍රැකෙන්නීය........!!!!!

^සූ

2013-06-04

සඳ වතුරේ පෙණ පිඬු මැද හිනැහුණු සුදු සාවියේ

සඳ වතුරේ පෙණ පිඬු මැද
හිනැහුණු සුදු සාවියේ
නුඹත් එක්ක එක මොහොතක්
කතා කරනු බැරිදෝ.....
හිම කඳු යායක් අතරින්
පාත් වෙලා එකම විටක්
නුඹේ දෙතොල් පෙති හිමිහිට
සිපගන්නට අවසරයි...



හීන හතක් මැදින් ඇවිත්
කවුළු දොරින් එබී බලන්
සිහින තොටිල්ලට ගොඩවී
සිනා නගන්නම්
ඔබේ සිනා දැක ගන්නට
පෙරුම් පුරන්නම්...

ආකාසේ රන් පැහැයට
දිදලුන රන් වන් අසපුවෙ
කවුළු පියන් හැරදාලා
තබලා තියන්නම්...ආයෙත්
මගේ හීන නොදකින්නට
පෙරුම් පුරන්නම්
හද මැදුරේ ගී කියනා කුරුල්ලනේ
නිහඬව ඉන්නම්.

2013-06-03

වැස්ස...

෴ සිතුවිලි පලස ෴



උස් වූ සපත්තු දැමු උන් කාර් වලින් බැස
නිවහනේ සීත පංකා නිවද්දී

බඩගිනි නොඉවසු විදි දරුවෙක්
වැහි වතුරට පින් දුන්නා...


2013-06-02

කළුවර හීනය

෴ සිතුවිලි පලස ෴

කඳුළක් සුසුමක්
එකට හමුවු තැන
බිඳ වැටුනු හදවතක
මැරුණු නටඹුන් අතරින්
ජිවිතය සෙව්වෙමි මම
පුරුදු මඟ සොයන්නියකසේ
කඳුළු මල් පිපිදි
විඩාබර සිතක් මත
තවත සරදම් 

ඇයිද මේ දිවිය මට
කඳුළු හුරතල් පෑව හිතකට
අඳුර පමණක් ඇවිදින්
තනි මකයි නම් හැමදිනම

 දෙඇස් හැරමින්
ඵලක්වේද මම
එහි ඇත්තේ

කළුවරම හීනයක් පමණක්ම වන විට

2013-05-31

බේබද්දාගේ විරහව


සරස්වතී...!!

සරස්වතී උඔ දෙයියෙක්
එක කකුලෙන් ජීවිතේ ගැට ගහන
අනිත් කකුල් කොටෙන් ගැට ලිහන
උඹ දෙයියෙක්.....

පාන්දර මහජන සම්පතේ
කෝටියේ මුල් තෑග්ග
රෝද තුනේ තියාගෙන
ගමක් ගමක් ගානේ පේ කර
වාසනාවන්තයාටම බෙදන
අනිත් උන් මඟහරින
සරස්වතී උඹ දෙයියෙක්...
අයියෙක් මල්ලියෙක් නැති පවුලෙ
උඹ දෙයියෙක්...

කනකරාජා කක්කුස්සි වලක
ජීවිතේ මුතු මැණික් ගරද්දී
උඹ මළපහ බේරලා චූ මුත්‍රා බේරලා
ලයිමට හීන් නූලෙ ගෙනාපු
තනි කකුලෙන් මධුසමය ගෙවපු
දිව්‍යාංගණාවී...කන්‍යාවී..

දූ පුතුන් රොත්තක්
රෝද තුනේ අතේ අතේ හයියෙන්
මහ දුරක් ගෙනාපු උඹ දෙයියෙක්

ආඬවනේ...

කණකා මලා
රෝද තුනේ අතක හයිය
අනෙක් අතෙන් පෙට්ටිය උස්සං
උඹ මහ ගිරි දඹේ හරි නඟයි

උඹ දෙයියෙක් සරස්වතී
උඹ දෙයියෙක්..

වාසි හූරන කාසිය වගේ
දෙපැත්තයි බං ජීවිතේ

උඹ දෙයියෙක්-පෙරළෙන පිටම නැග්ග.....!

-චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න-

අයිතිය !


2013-05-30

මොහොතකට පෙර......

෴ සිතුවිලි පලස ෴

විල් තෙරින් නිල් උපුල් කැකුළක සුගන්දය මල් රොනක් සේ
පිල් විදා හල සලා මුහුලස රඟයි ඈ මොනරියක් සේ
මල් වරා සිටි පුන් මදාරා ලං වෙලා තව සිසිලසේ
දැල් වෙනා පහනක සිලක් සේ නිතඹ රන් සලුවෙන් වැසේ

රන් හසුන් උන් බය වෙලාදෝ මන් බලා සිටියම හොරා
හැන්ගිලා උන්තැනින් තව තව මතු කලා දෝ රස නුරා
නින් නදක් සේ හඬ සිහිල් දොල දියක් සේ සුවපත් කරා
මන් වෙලා මත් කලා අසුරක් දුන්නු රස කලතා පෙරා

සත් සියක් තරු පීදෙනා යුරු නිල් නුවන් කැන් පායලා
පත් සලා සිය අහුරු මුතු කැට රූරමින් පිට තෙත් කලා
ගත් නිසා සිත අමාවක සඳ අපට ඉඩදී හැන්ගිලා
පත් මයකි සයනයම පිබිදුන එහෙත් ඇත මා තව බලා....... 

මේ .....සමුගැනීමේ ඇරඹුමයි - by Indika Gunawardena

මේ .....සමුගැනීමේ ඇරඹුමයි

මේ .....
සමුගැනීමේ ඇරඹුමයි
ඇසේ සිරගත වූ
කඳුළු නිදහස ලබනා
සිතේ සිරවූ
සුසුම් අත්තටු ගසනා
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

කාලයේ සැඩ සුළගින්
හදේ දැල්වුණු පහන් එළි නිවිලා
ඝණඳුරේ පේ‍්‍රමය සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

ශීත කාලය එළඹී
හදේ උණුසුම් හැගුම් ගොළුකරලා
උණුසුමක් සීතෙන් සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

Indika Gunawardena

කාන්තාරයේ කුසුම.....!

කාන්තාරයේ කුසුම.....!

රුවින් ගුණෙන්
හෙබි
වැලි කතරක
සුපිපුණ
කුසුමකි ..... මා
සමනල පහසක්
නොලබපු,
රිදවුවද කම්නැත,
පෙති තැලුවද
කම්නැත,
බමරෙක්වත්
පැමිණ, රොන් ගෙන.

^සූ

2013-05-28

පොරුවට කැන්දා - මල්ලේ සායම් කුමටද මන්දා

පෝරුවට කැන්දා
මුදු මාල පලන්දා
සුදු සේල ද අන්දා
නැකතට කැන්දා
ගෙනයමි බන්දා

මල්ලේ
සායම් 
කුමටද මන්දා

by Darshana Wimukthi

2013-05-27

සුදිය..


එකෝමත් එක දිනයක..
චතුරශ්‍රයේ, ටොරින්ටන් ..
බිම ඉඳගන..
මු දුටුවා !

මඟුලක් වගේ ..
සෙනඟ ඇවිත් බලා උන්න..

සුදිය..


සුදු කපුටා !


HasikisoM..