ShareThis

2013-05-31

සරස්වතී...!!

සරස්වතී උඔ දෙයියෙක්
එක කකුලෙන් ජීවිතේ ගැට ගහන
අනිත් කකුල් කොටෙන් ගැට ලිහන
උඹ දෙයියෙක්.....

පාන්දර මහජන සම්පතේ
කෝටියේ මුල් තෑග්ග
රෝද තුනේ තියාගෙන
ගමක් ගමක් ගානේ පේ කර
වාසනාවන්තයාටම බෙදන
අනිත් උන් මඟහරින
සරස්වතී උඹ දෙයියෙක්...
අයියෙක් මල්ලියෙක් නැති පවුලෙ
උඹ දෙයියෙක්...

කනකරාජා කක්කුස්සි වලක
ජීවිතේ මුතු මැණික් ගරද්දී
උඹ මළපහ බේරලා චූ මුත්‍රා බේරලා
ලයිමට හීන් නූලෙ ගෙනාපු
තනි කකුලෙන් මධුසමය ගෙවපු
දිව්‍යාංගණාවී...කන්‍යාවී..

දූ පුතුන් රොත්තක්
රෝද තුනේ අතේ අතේ හයියෙන්
මහ දුරක් ගෙනාපු උඹ දෙයියෙක්

ආඬවනේ...

කණකා මලා
රෝද තුනේ අතක හයිය
අනෙක් අතෙන් පෙට්ටිය උස්සං
උඹ මහ ගිරි දඹේ හරි නඟයි

උඹ දෙයියෙක් සරස්වතී
උඹ දෙයියෙක්..

වාසි හූරන කාසිය වගේ
දෙපැත්තයි බං ජීවිතේ

උඹ දෙයියෙක්-පෙරළෙන පිටම නැග්ග.....!

-චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න-

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.