ShareThis

2013-06-06

පින්තූරයක්

පින්තූරයක්

උඩුකය නිරුවත් පිරිමියෙක්, අඩනිරුවත් උඩුකයින් යුතු ගැහැණියක්, ඇගෙන් කිරි උරා බොන අවුරුදු එකහමාරක් පමණ ළදැරියක්. පෞද්ගලික පින්තූර එකතුවකින් අහම්බෙන් ඇස ගැසුනක්. (මම කොහොමත් ඕවගේ අහුමුලු වලට කැමැත්තෙන්ම හොට දානවා.)
මේ පින්තූරය අරන්තිබුනේ ගැහැණියට සමාන්තරව සයනයේ වැතිර සිටි පිරිමියා විසින් කියලා අනුමාන කරන්න පුලුවන් බොහෝ දෝෂ පින්තූරය පුරාම තිබුණා. දැරිය රෝස පැහැ දෙතොල් අතරින් තන පුඩුව විකාගෙන හිටි කිරි දත් පවා පැහැදිලිව පෙනුනා. ඇය මව ව ඇ‍ඳේ පෙරළගෙන කිරි බොනවා. ඒඇස් වල හුරතල් දඟයක් නලියනවා. ඇයට පැහැදිලි නැහැ මේ අවස්ථාව ගැන. මව්පිය උණුසුමමැද බොහෝ ජයග්‍රාහී නිමේෂයන් තමයි ඇය ගත කරමින් ඉන්නේ. ඒ බව ඇගේ පිරිපුන් කම්මුල්වල පවා ඇදිලා තිබුණා වගේ මම දැක්කා.

ගැහැණි‍ය, ජීවිතේ බොහෝ දේ ලද බව දනවන හා ලබන්නට නියමිත බව දනවන ආඩම්බර බැල්මෙන් කැමරාව දෙස බලාහිටියා. විශ්වාසය, ආරක්ෂාකාරී බව, ආදරය, අනුරාගය ඇගේ දෙනෙත් වල තිබුණා වෙන්න ඇති.ඒත් පින්තූරය ඇස ගැසුණු නිමේෂයේ මා එම ඍජු බැල්ම මගහැරියා කියලා මට හොදටම මතකයි. ඇය ගැන මගේ හිතේ හැගීමක් ඇති උනේ නැහැ කියලයි මට මතක.

මගේ වැඩි අවදානය දිනාගත්තේ සයනයේ වැඩි ඉඩක් තම ආධිපත්‍යයට නතු කරගෙන සිටි ඔවුන්ගේ හිමිකාරයා දෙසටයි. තම අවස්ථාව උදුරාගෙන සිටින ළදැරිය ගැන නෝක්කාඩුවෙන් බලන් ඉන්නවා කියලාමයි මටහිතුනේ. අඩවන් ඇස් වල තිබුනේ නොසන්සුන් බවක්. මට හිතුනේ ඔහු, ඔහුගේ උද්දාමය, රාගය,ආශාව කුළුගන්වමින් මේ පින්තූරය ගත්තා කියලයි. දරු සුරතල් වලින් ඔහු මුසපත් වෙලා. ඒත් මේ සොඳුරු අඳුර හිමි ඔහුට. තාමත් ඒ හිමිකම උදුරාගෙන ඉන්නේ ඔවු‍න්ගේ දියණිය.කරන්න දෙයක් නැහැ. ඇයට ඉඩ දිය යුතුයි.

රාගයේ නොඉවසිල්ල පුදුම සුන්දරයි. මේ සුන්දරත්වය විඳගන්න අඩවන් දෑස් මේ පින්තූරය තුළ බොහෝම අනුරාගී නිමාවක් එක් කරලා තිබුණා. පින්තූරය දෙනෙතින් ගිලගත්ත මට තත්පරයකින් දාහෙන් පංගුවකට විතර ඒ උණුසුම් බැල්ම ගැන ලෝභ කමක් හිතුණා. මට හිතුණා ඒ අතරින් රිංගලා ඒ පිරිමිසුවඳ බලන්න.

මා විඳගත් සියලු සුන්දරත්වයන් සුන් උනා වගේ අතෘප්තකර ආශාවන් මා මලානික කළා. කළකිරීම, නොසන්සුන් සිත රාත්‍රිය වඩා දිගු කළා. අළුයම අවදි වන විටත් බඩගින්න, අඩු නින්ද, අතෘප්තිය මා වෙහෙසට පත් කර තිබුණා. අර තරම් සුන්දර පින්තූරයක් අවසන මට ‍එසේ දඬුවමක් දී තිබුණා.


෴ මේඝ මානසී  ෴ 

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.